පළාත් පාලන මැතිවරණය අවලංගු කිරීමෙන් රුපියල් කෝටි හැත්තෑ දෙකකට වැඩි, රාජ්‍ය මුදලක් අපතේ ගොස් ඇති බව නිදහස් ජනතා සභාවේ නායක සමගි ජන සන්ධානයේ විධායක සභික ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමිනි.
එහි දැක්වෙන්නේ මීට මාස 22කට පෙර කැඳවූ නාමයෝජනා අවලංගු කොට නව යෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට වත්මන් කැබිනට් මණ්ඩලය ගත් තීරණයට සියලුම දේශපාලන පක්ෂවල හා පුරවැසියන්ගේ ආශිර්වාදය හිමිවන බවයි.
ලිපිය මගින් ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය දේශපාලන ශූන්‍ය භාවය වසා ගැනීමේ අරමුණින් 2023 ජනවාරි මස අග සතියේදී අත්තනෝමතික ලෙස ගත් පළාත් පාලන මැතිවරණය අවලංගු කිරීමේ තීරණය හේතුවෙන් රුපියල් කෝටි හැත්තෑ දෙකකට වැඩි රාජ්‍ය මුදලක් අපතේ ගිය බවයි.
එම මුදල්, පාලකයන්ගේ පෞද්ගලික මුදල් නොව මහ ජනතාවගේ රිරී මාංශ සූරා උපයා ගත් බදු මුදල් බව අදාළ ලිපියේ සඳහන් වේ.
ජනාධිපතිවරයා වෙත යැවූ මෙම ලිපිය විපක්ෂ නායකවරයාට,සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට,අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙන්ම සියලු පක්ෂ නායකයින් වෙතද යොමුකර ඇත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළ මැතිවරණ කොමිසමට හා කොමසාරිස්වරුන්ට ගරහමින් , මැතිවරණ පවත්වන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ එහි විනිසුරුවරුන් අවමානයට පත් කරමින් කටයුතු කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා දේශපාලන කවන්ධයක් බව තහවුරු කර ඇති බව ඩලස් අලහප්පෙරුම මහතාගේ අදහසයි.
මහ බැංකු කොල්ලය , සීනි බදු වංචාව , වීසා වංචාව වැනි මෙරට දේශපාලන අපරාධ ගොන්නට මේ සිදුකළ ව්‍යසනයට 'පුංචි ඡන්ද මංකොල්ලය' ලෙස ඇතුළත් කළයුතු බවත් , ව්‍යවස්ථාවෙන් හිමිකරගෙන ඇති දේශපාලන වරප්‍රසාද නොසලකා ඊට අදාළ වග උත්තරකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව, ඩලස් අලහප්පෙරුම මහතාගේ අදහසයි.
ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරන්නේ මැතිවරණය නිසි කලට නොපවත්වා අපතේ යන කෝටි 72කට ආසන්න මහජන ධනය, එම තීන්දුව ගත් පාලකයින්ගෙන් අයකරගන්නා ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බවයි.
එමෙන්ම වර්තමාන ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයින්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි බලා සිටින බවත් , නව මැතිවරණය සඳහා දින නියම හරහා ජනතා අපේක්ෂාව ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතාගේ මතයයි.