පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝගයකට අනුව, ජනාධිපති ලේකම් නන්දිත සනත් කුමානායක මහතා විසිනි.
වැඩිදුර පරීක්ෂණ සඳහා එලෙස අදාළ වාර්තාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කර, නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ, 2019 වසරේ සැප්තැම්බර් 22 වැනිදායි.
ඒ, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු කොමිසමට සාමාජිකයින් හය දෙනෙකු ඇතුළත්.
එහි අවසන් වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේ, 2021 වසරේ පෙබරවාරී පළමු වැනිදායි.
එහෙත්, එම වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් කෙරුණේ නැහැ.
ඒ අනුව ඉදිරියේදී අදාළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බව ද, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ය.
මෙරට ප්‍රධාන පෙළේ දේවස්ථාන සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී හෙටට (21) වසර 6 ක්.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සියොන් දේවස්ථානය මෙන්ම, ශැන්ග්‍රිලා, කින්ස්බරි හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට එලෙස බෝම්බ ප්‍රහාර එල්ල විය.
මරාගෙන මැරෙන තවත් බෝම්බ පිපිරීම් දෙකක් සිදුවුයේ දෙමටගොඩ සහ දෙහිවලදීයී.
ඉන්, රටට අහිමි වූ ජීවිත සංඛ්‍යාව, 272 ක්.
තවත් 500 කට ආසන්න පිරිසකට එහිදී තුවාල සිදුවිය.
ඔවුන් සිහිපත් කර හෙට(21) උදෑසන 8.45 සිට 8.47 දක්වා විනාඩි දෙකක නිහැඬියාවක් පවත්වන්නැයි ජාතික කතෝලික සභාව ජනතාවට දැනුම් දෙයි.