කෝටි දෙකක මත්කුඩු සමග එස්. ටී. එෆ්. බුද්ධි අංශ IP සහ PC මාට්ටු

 


සැකකාර IP මාලිගාවත්තේ මාමස්මී අල්ලන්න මූලිකත්වය ගත් අයෙක්

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට සැකපිට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (20දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා විශේෂ කාර්ය බළකායට අයත් වෑන් රථයක යමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේදීය.

වෑන් රථයේ තිබී හොරොයින් කිලෝග්‍රෑමයක් සහිත පාර්සලය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකාර නිලධාරීන් දෙදෙනා විශේෂ කාර්ය බළකායේ මොරටුව කඳවුරේ බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කළ දෙදෙනෙකි. කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත එහි නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා රාත්‍රි පිළියන්දල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලක රථගාලක වෑන් රථයක සිටියදී මෙම නිලධාරීන් දෙදෙනා සමග හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ඔත්තුකරුවකු මෙම වෑන් රථයේ පැමිණි බවත් එම පුද්ගලයා හෙරොයින් සහිත බෑගය රැගෙන එන්නට ඇති බවත්ය.

මෙහිදී අත්අඩංගුවට පත් වූ පොලිස් පරීක්ෂකවරයා කලක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකයේ රාජකාරි කළ දක්ෂ නිලධාරියකු බව ආරංචිමාර්ග පවසයි.

පාතාල නායකයකුව සිටි මාලිගාවත්තේ මාමස්මි අත්අඩංගුවට ගැනීමේදී මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ද මෙම නිලධාරියා බව ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads Section